ගංතෙරට පෙම්බැඳ


ඉවුරු අයිනෙන් සෙමෙන් පදවා
ගඟ දියෙන් මංපෙතක් අසමින්
පදවයි තොටීතැන සිය පහුර
යුහුසුළුව පෙරමුණට

කෙනෙකු අත වැනුවොත්
හිසින් සන් කළහොත්
වහා නවතා ඉවුර අසබඩ
තොටීතැන ඔහු වෙතට ඇවිදින

කිමද මා හට හිසින් සන් කර
එන්ට කියවා නිහඬ වන්නේ
එසේ අසලා මිතුරු වී ඔහු
විටෙක පහුරින් ගොඩකරන්නේ

සොවක් ඇති වූ කලෙක වරුවක
කඳුළු ගනීමින් ගංතෙරේ හිඳ
විටෙක ගසකට පහර දී ඔහු
හඬනු දුටුවා තදින් දුක්ගෙන

ජීවිතය නම් ගඟේ පදවන
මගේ පහුරත් නිතර පාවෙන
ආදරේ නම් ඉවුර අසබඩ
විටෙක නවතා ඔහේ ඇවිදින

පෙම් ඉවුරු මත වැවී ලොකුවන
විරහ දුක නම් මහා ගසකට
වැරෙන් තඩි බා මමත් හැඬුවා
මීට මහ කල්පයකටත් පෙර
Return top | ඉහත්තාවට නැවතත්