skip to main |
skip to sidebar
හෙට අනිද්දා දවසක - වැස්ස ඇවිදින් කතා කෙරුවොත්
කියපන් කළු වළාකුලකට - පස්සේ දවසක හම්බවෙන බව
අකුණු ගසමින් හඬන හන්දා - කන්දේ උරහිස උඹට දුන්දා
වලාකුළු නුඹ දන්නේ නැතුවද - මංජු පස් යට නිදියගත්තා
අම්මාට හිටි එකම පොඩි දුව - දීග යන්ටයි හිටියේ එන මස
නුඹේ ගෙරවුම ඇසී විගහට - බේරගන්නයි දිව්වේ පහළට
කන්දේ උරහිස ලිස්සනා බව - මේඝ නුඹගේ කඳුළු දන්නැහැ
මංජු තවමත් නුඹේ පාමුල - තදින් නිදි වග කන්ද දන්නැහැ
ආයි ආපහු වැස්ස දවසක - කන්දේ උරහිස මේඝ හෙව්වොත්
කියාපන්..,
ආයි නාවට කාරී නැති වග - මංජු ගිය දොහේ ඔහේ ආ වග
-පොසොන් මස 05 වන දින, සවස-
ගැලවුණු කරාබුව
තවම
පුටු කවර යට
කැඩුණු වීදුරු වලලු
කැබැලි සී සී කඩ
උණා දැමි ඒ දුහුල් සළුපට
අඩක් අසබඩ වැටී යහනත
තවම අවසන් නොවුණු මිදි යුෂ
වැටී එබඳුන යුෂ ගලයි දසඅත
කවුළුවෙන් ඈත පෙනෙන
අඬ සදක මිහිරස
කිසිත් නොවූ ලෙසට
එකිනෙකා නොදකින්න
එකිනෙකා නොපතන්න
පුරුදු වුනු හේතුව
හඬ ගා කියන්නට හැකි වුනා නම්
නෑ දුකක් මේ තරමට
දුක වැඩි නිසාවට
හිත ගල් වෙලා අද
රිදෙන්නෙත් නැහැ දැන්
හදවතේ රිදෙන තැන
රළුවෙලා ඒ තරමට
නිතරම රිදවලා ම,
නෑ දුකක් මේ තරමට
හඬ ගා කියන්නට හැකි වුනා නම්
ඒ දුක
කලකට පෙර එදා මා උරහිස
නුඹට දුන් විදිහට ම
හෙමින් සීරුවේ ඔන්න ඔතැනින්
ඇවිද යනු මැන පෙම්වත
ඔබේ පා සටහනක් මළුවේ
නැතිව පාලුයි හිතවත
මිහිරි සුවඳක සොඳුරු මතකෙක
කැටිව ගත් පෙර සවසක
තෙමි නොතෙමි ගියා මතකයි
අනන්තෙට දුර ඈතක
කාලයේ වැලිතලා මැද්දෙන්
පැතුවමුත් අප ඇවිද යන්නට
කිසිත් නැති කල මතකයත්
පරම සැපතකි පෙම්වත
හෙමින් සීරුවේ ඔන්න ඔතැනින්
තබා යනු මැන මතකය
ඔබේ සටහන් වලින් හදවත
පුරවාගත් ඒ කාලෙට
නොදන්නවා නුඹ වුනත් හිතවත
හරි පෙමි මා ඕසේට
පසුකතාව : හිතවත්ම මිතුරියගේ පෙම්වතා මියගොස් අදට වසර දෙකකි. මේ අකුරු ඒ ගැන ය. මෙය කිසිදා නොදකිනු ඇත, එහෙත් ඒ වදන් සහ දෙවසරකට පෙර මියැදුණු ඈ ප්‍රථම ප්‍රේමය ඈ සිත තුල තවමත් රාජිත ය.
Return top | ඉහත්තාවට නැවතත්