~මම~




සේයාරුව අන්තර්ජාලයෙනි | කවිය මගෙනි 

අපි, සුසුම් හා අන් අය

අපිට අපි  ගැන කතා කරන්නට
වෙලාවක් ඇත්තෙම නැද්ද
අපිට අපේ නොවන අය ගැන
කතා කරනවා හැරෙන්නට

හිස රිදුම් මතක  වේදනාවන්
ප්‍රේමයත් සමඟ මුසුව රිදුම් කරන කල
කොහේ කවදා කරම්ද පෙම් වත් කතා
දෙපසට වී සුසුම්ලනු මිස

බක් මස, 2012දී ය.

යොදුනක් උඩින් හමනා හුලඟකට
තමාවත් රැගෙන යන්නැයි
කියා ලෙලදෙන
පහතින් පිපුණු පොහොට්ටු..

යමුද අපි සුහදිනිය

විටෙක මටත් ආසයි
නුඹ රැගෙන තායි අවන්හලක
ඉටිපන්දමෙන් අඳුර දුරු වූ 
රෑ කෑමකට එක්වෙන්න

tom yum සුවඳ මැද
papaya salad රසවිඳ 
තොල් පිට පෙරලා ගිණි රසය විඳ
milky iced green tea බොන්නට
හරිම රස කෑමකි කියා 
ගුණ අසන්නට

එ මතු නොව සොඳුරිය
දිගු කාලෙකින් නොදුටු නුඹ දකින්නට
සල්ලාප පෙම් බස් දොඩන්නට
ප්‍රේමයෙන් තුරුළු වන්නට

යමුද අපි සුහදිනිය
ඉටිපන්දමෙන් අඳුර දුරු වූ
රෑ කෑමකට එක්වෙන්ට
තායි අවන්හලක


අසම්පුර්ණ කවි පෙළක්



නොඉඳුල් තුරු හිසක පහසක් සොයන්
වළාකුළු පෙළ අහසේ ගමනක්
තනා නැති දැව කඳින් විමනක්
සොයා යති තුරු උඩින් ගමනක්

නො ඇද ඇති විදු රැහැන් කිසිවක්
සොයා යති සුව රැකෙන පෙදෙසක්
ගලා යන දඟ ජලනි නිල්වන්
සොයනවද සුව රැකෙන පෙදෙසක්

තෙලින් නොබැදුනු කුරිරු මිනිසෙක්
නොවේ විදැසුන් වඩන තවුසෙක්
අතින් කැඩුනිද එ සිල් පදයක්
විනාශය ඇරඹුනේ එතැනින්

ගං තෙරක සුව වින්ද කවියෙක්
සිතින් පබැඳූ ආල කවියක්
තනයි නම් කරනට ම නපුරක්
විනාශය ඇරඹුනේ එතැනින්

සමාජය තුල බොහෝ විෂ ඇත
දෂ්ඨ කළවුන් විෂට මියයන
විසෙන් විස කිසි නැසීමක් නැත
පිරී වැගිරෙන වෛරයක් මිස

අඳුරු රැයක ඉල් මස

මෙයට හිතවත් ඇඩෝනෙස් | Adonis

බොහෝ අය යන එන
නමුදු කිසිවෙකු නොදකින
තුරු වැලින් සැඟවුණ
ඇප්‍රෝඩයිටී තෙම,

මේ අහන්න..,

උයනට නොඑන කිසිවෙක
ගැනම ලතවන්නේ කීම
නුඹට දෑතක් නැති වුව
වැළඳ ගන්නට බොහෝ විදි ඇත..

හිතන්න මා ගැනම..,

වැළඳ ගන්නට සපිරි දෑතකි
ප්‍රේමයෙන් පිරි සොඳුරු කවියෙකි
කොතෙක් දෙව් ලියන් සිටියද
වැළඳ ගන්නට නොමැති කිසිවෙක..


මෙයට හිතවත්,
ඇඩෝනෙස් | Adonis

කට කපලා තව ෂොට් එකක් උගුරට..


හැම විටෙකම
කියන්නට කතාවක්
මට ඇත

බඳුන වටා රොක් වෙන
මිතුරන් එය අසන්නට 
සැරසෙත..

මගේ දුක කියන්නට
කියන දුක අසන්නට
සවන යොමුකරන'තර 

"අයියේ ගහමු තව අඩියක්"

කියා හැමවිට 
වීදුරුව පුරවන
දුඹුරු වර්ණිත 
පොකුණු දිය මත
ඇසේ කඳුලැලි 
දියව යනවිට
පාලු කපනා 
නුඹ සොයුරු පෙම

ඒක හරි තද බැඳීමක් බං!!! 

කට කපලා තව ෂොට් එකක් 
උගුරට..

~අපරාධය සහ දඬුවම~

සැඟවූණු තැනට යාබද
ගසක් ඇත මහ රූස්ස
අසලින් තබා අසිපත
කුමරු බට ඒ ගඟුලට

දොවා මුව දෝතින්
බලත් කුමරුන් සැකයෙන්
රුපුන් සැඟවී පහර දේදැයි
නොදැන සියොළඟ ගැහෙමින්

මාළිගේ හුරුපුරුදු පෙම් කෙලි
කරමින් සිටියා නම් තුටින්
නැති මෙවැනි බෝ දුක්
නොමනිවැස් වේ මේ රුක්තැන

තන්හා වී කිරුළට
හුරු නොමැති කඩු අතගෙන
ආවාට සටනට
මෙහෙම වී නම් මදි මට

සුලබ කලාතුර

විජිනි පත් සැලෙනා අතුරින්
ඉඳහිට ඇසුන හඬ සතියකට
වරක් දෙවරක්
සිහින් සිනහවක් දෙකක්
fb චැට් එකක් පතුලෙන්

පරණ මතක,
හිස් වූ කොපි කෝප්ප,
ෆෝන් ඕෆ් වෙනතුරු
දඟ කරයි තාමත්
කිසි මහන්සියක් නැතිව ඉඳහිට

(නි) සල

නිසලව හිඳීමි
සැරපරුෂ සිතුවිල්ල අස
රුදුරුව දැවෙමි
නිසසල හදවතක් ගැන

අහිමි වේ යැයි බියව

උණුසුම් හිම බෝල

මතක් වී සිත
කීරි ගැසෙතැයි
බියෙන්
ශීතලට ගුලිවෙමි,
ශිශිරයට නතුවෙමි.

Lamentation of Graphic Designer

ඕ,
කොතරම් තැත් කලත්
ෆයිනලයිස් නොවෙන,
ලේඅවුට්ටුව,

ක්ලයන්ටුවා
වරක් බැලූ සැනින්
වෙනස්කම් කෝටියක්
ඉපදී මා වෙත
දිවා රෑ
වෙනසක් නැතිව
ඊමේල් වෙන.

මටම මෙහෙම
වන්නට මා තීට කල
වරද කීම...?

කොහිල කටු

එම්බා හෘදය,
තට කුමක් වී ද?
සඳ පෙන්වා වැණුම් කරනා කල
එදෙස පෙන්වූ නිය තුඩට
සහසක් ඇනුම්පද කියන

බෝධිසත්ව ගුණෝපේත

මේ පාර අපිමයි දිනන්නේ
පෝස්ටර් ගැහුවා, බැනර් ප්‍රින්ට් කෙරුවා
පත්‍රිකා බෙදුවා දන්නා අයට කීවා

හම්බ කල සේසතම, වාහේගේ රන් මාල
උකස් කරලා මුදල් අරගෙන
මිනිස්සුන් හට දුන්නා, පන්සලට මං පිදුවා

බෝධිසත්ව ගුනොපේත මේ මහත්මයා හින්දා
අමුතු සුන්දර එළියකින් මේ පන්සලම අද දිලුනා
හාමුදුරුවෝ දෙසුවා, සාදු සාදු කිව්වා
චන්ද ඇති බව දැනුනා

ලස්ස ගානක පෝස්ටර් - උපාසක ඇත්තන්ට සිල්රෙදි
ගෙවල් වලට ඔරලෝසු - කොල්ලන්ට ටීසර්ට්
කෙල්ලන්ට චන්ගුමී කටු - ඔක්කොටම මං බෙදුවා
චන්දෙ දෙනවැයි කිව්වා

මේ සැරේ නම් බයක් නැහැ මට - බත් පැකට් විසිදාහක් බෙදා ඇත
ලිස්ටෙකේ මම ඉන්නේ ඉහලම - සීට් එක නම් සුවර් මේ වර
හදවතත් මට කිව්වා - හීන අලුතින් දැක්කා

චන්දෙ දවසේ චන්ද පොලටම - පක්සේ පාටට කමිස ඇඳගෙන
උඩට ඔසවා කොලේ පෙන්වා - පෙට්ටියට මනාපේ එබුවා
වටේ උන් ජයවේ කිව්වා

ප්‍රතිපලේ ආවා
හාත්පස අඳුරු වුවා
රතිඥ්ඥා හඬක් නැතුවා
හිත තද කරන ප්‍රතිපලේ බැලුවා
අවසානයේ නමට අයිති නොම්මරේ ළඟ
චන්ද ගානත් පෙනුනා.
පවුල විතරක් මොකුත් නොලැබම
කතිරේ ගහලා තිබුනා..

චිත්තලෝපය

වැළපෙනා ඒ සිත මත
සිහින් ස්වරයක් සැඟවී ඇත
උගුරට හැලූ මීවිත
සුවඳ වියැකී ගොස් නැත

පුරා රෑය ගණන් මත
වරා නිදි ධවල ස්වප්නය දැක
සැනින් ඇහැරුණු විට
ඔබ නොමැත සිතුවිලි අස

දුවයි විස සිතුවිලි තුල
මවයි බියකරු සිහිනය
වෙන්වී යන්න බැරි සඳ
විඳවනා හැර අන් කීම

(කිඹුල්) කඳුලු

ශීතල
ගං දියෙහි
නිදහසේ පිහිනනා
මස්ටකයින් දැක

කියමින් දුක්වෙති
කොකුන්
අනේ ඒ සීතලේ ගැහෙනා
මසුන්

පොරොත්තු පාත්තිය


ඉසෙන තුරු
දිය පොද
නොඉවසිල්ලෙන් සැලේ
මිලාන වූ
සිතිවිලි පැල

නැගෙන්නට පළමුව
හිමිදිරියේ
පළමු ළා දල්ල,
අළු මතින් උට්ඨාන වූ
ෆීනික්ස් ලෙද

ටික්කා

මුව නැතුවට කතා කලේ
හද නුඹ හට තද පේමේ
කාඩ් මාක් කරන කොනේ
ටික්කා මමයි රොටරි වලේ

පෙම්වත් බස් කර සතොසින්
කොටුව කපා දෙන විගසින්
සලා නෙතින් මුදු බැල්මන්
ඈ යනවිට මම හොල්මන්

උසස් පෙළට කොටු කැපුවට
නෑ කවදත් කොටු පැන්නේ
හිත මගේ ය අහිංසක ය
නැත කවදත් පැනි පෙරුවේ

හැම දෙනාම උගෙන සමත්
වී කැම්පස් වෙතට යතත්
කිසිවෙක් නෑ මා ගැන සිහි
කොනකට වී කාඩ් කපත්

ඕයි??

ලයික් පොකුරක් හිඟා කන්නට
කොමෙන්ට් වපුරා පසිඳු වන්නට
දෙතුන් පොලකම ශෙයා වෙන්නට
ලියුවා කවියක් බිතක තදකර

ඇයත් මා දෙස පෙමින් බැලුවට
මගේ ආදරේ නිහඬ වූ වීට
හිත වටේ පියවරම මැන්නට
කියෙව්වේ නැහැ බිතේ කවිපෙළ

ඇය ඇරෙන්නට පොතට යන එන
සැවොම කියවති අහෝ කවි පෙළ
කියන කිසිවක් නොතේරෙන ලෙස
ඉන්නේ වැනි වැනි කුමන කරුමෙද

මතක මංඩි


වසර ගණනක කතාබහ, 
මාවත් දෙපස කෝපි කෝප්ප
ගණනාවක් ගොඩ ගසා ඇති අයුර 
ගණනකට නොගෙන 
ඇවිද යන හැටි 
මතකයන් රැගෙන වෙන වෙනම 
මං මාවත්වල

වෙනස



කුරුටු ගී කුරුටු ගා හිරේ ගිය මඩකලපුවේ තරුණිය ජනපති නිදහසින් ගෙදර යයි
Posted by Newsfirst.lk on Wednesday, 29 April 2015


මං කලේ බිත්තියේ 
නම කෙටුව විතරමයි 
ඒ වුනත් මං හිරේ 
අදයි නිදහස් වුනේ 
ලෝකයක් මට ඇඟිලි දිගු කලේ

මිලියනම හයදහලු
ඊට වුනු දේ නැහැලු
නඩු අහලා ඉවර වෙනකං 
ලෙඩවෙලා ඌ ඇඳේ 
කවුරුවත් මොකුත් නැහැ කියෙව්වේ

 -ශ්‍රී උදය.

ස්වප්න බියකරුව



Return top | ඉහත්තාවට නැවතත්