Showing posts with label අවස්ථෝචිත. Show all posts
Showing posts with label අවස්ථෝචිත. Show all posts

සතුටුයි ද ජයතිස්ස?

කොතරම් පින් කලත් ජයතිස්ස
මම දුටුවේ නැහැ අයියේ නුඹ නම
පන්සලේ ඝංඨාරේ වැදුනෙත්
මස්කඩේ මුදලාලි තාලෙට

ගඩොලින් ගඩොල තබා නෙක පෙළ
කරවා ළඹ සැනින් ගෙන මැණුම් යස
බැන්දත් නුඹ අතින් ඝංඨා කුළුණ
පිබිදුනේ මස් කඩ මුදලාලිගේ නම

මේක මහා පිංකමක් සෝමේ
සල්ලි නොව පින් ටිකයි ඕනේ
එහෙම කියලා බැන්ද කුළුණේ
නුඹේ නම කොතැනකද තිබුනේ

පිනට කුලියට කුළුණ බැන්දට
විවෘතේත් පහු වෙලා සති දෙක
ගිහිං මස් කඩ ගාව හිටියට
මුදලාලි නුඹහට කුළිය දුන්නද?

~පෝරියල් හෝඩිය~

අආ..? ඇඈ..? යයි අසමින් ගොසින් පසුපස
ඉඊ කියා මා දුටු කල අපුලින් යුතුව
උ ඌ යැයි ඇඟිලි දිගු කර පෙන්වමින් මා වම
ඍ ඎ ලෙසින් අරඹා
ඏ ඐ වනතුරු නෙළුවත්
එ ඒ ඓ තියා ඔ ඕ ඖ වත් නොකියා ඉවසූ මට
කෙළවු නුඹ පසු කලක මා දැක කියවුනේ
අං අඃ බව අමතකද?

සරලව යස සහල - මැන මැන දෙන ලෙසට
කිව්වත් බොරු හොඳට - රැවටුනේ නුඹ නොවේද?

යමුද අපි සුහදිනිය

විටෙක මටත් ආසයි
නුඹ රැගෙන තායි අවන්හලක
ඉටිපන්දමෙන් අඳුර දුරු වූ 
රෑ කෑමකට එක්වෙන්න

tom yum සුවඳ මැද
papaya salad රසවිඳ 
තොල් පිට පෙරලා ගිණි රසය විඳ
milky iced green tea බොන්නට
හරිම රස කෑමකි කියා 
ගුණ අසන්නට

එ මතු නොව සොඳුරිය
දිගු කාලෙකින් නොදුටු නුඹ දකින්නට
සල්ලාප පෙම් බස් දොඩන්නට
ප්‍රේමයෙන් තුරුළු වන්නට

යමුද අපි සුහදිනිය
ඉටිපන්දමෙන් අඳුර දුරු වූ
රෑ කෑමකට එක්වෙන්ට
තායි අවන්හලක


අඳුරු රැයක ඉල් මස

ස්වප්න බියකරුව



• කවටයාගේ පෙම්වතී •


සුමුදු දෙතොල නැත පහසක - රහමෙර විඳ ගත්ත තී
සිනා කතා කියවා සත - ගත් රුපියල් සත මදී
සිනාසුනද වෙස් මුහුණක - කඳුළු බිව්වා නැති මදී
හඬන ඔහුට හිනැහෙන්නට - සවිය දුන්නේ නුඹද තී

ඇස් ලොකු කර ඔමරි පපා - දෙපිට කැපෙන වදනා
කියවා සත හා සමඟිණ - එකට සිනහසෙනවා
සර්කස් කඩ මුදලාලිගේ - බැල්ම නිතර වදිනා
බව කියන්නේ කොහොමද - ඈ, ඔහු ඉන් දිවි ගෙවනා

කලකට පෙර පෙම් ලෝකයේ - කිරුළු පැළඳි රජු
ඔහු උනාට, රජ මැදුරට - වැටේ රජ කඩොලු
මුදලාලිගේ රුපියල් සත - දුන්නත් දිවි සලූ
හිමි සඳ මම ඉවසන්නේ - හින්දයි නුඹ මතු

පෙම්වත නුඹ අසල ඉන්න - නැත සුදුස්ස මම
ලොවම හිනස්සා මාසෙම - ලැබෙනා සොච්චම
එක වරකින් හාන්සි වී - උපයන අන්දම
ඇසුවොත් නුඹ කෙතරම් - දුක් ගනීද මගේ පණ

• සුවඳ •

මට තුරුල් වී
කඩා ඉහිරවූ
ඇගේ කෙහෙරැළි අතර
ඔහුගේ සුවඳ තැවරී ඇතැයි
මට සිතේ..,

ඈ සිපගන්නා
වාරයක් වාරයක් පාසා
ඔහු සුවඳ එන නිසාම
ඒ දරනු බැරිව
ඈ කණට කර මෙසේ කොඳුරමි..!!

"දුවට තියෙන්නේ අම්මගේ සුවඳ නෙවෙයි තාත්තගේ සුවඳ"

කඳුලැලි සැලේ
ප්‍රේමය මැරී සෙනේහය
උප්පත්ති ලබන්නේ මෙතැනින් යැයි
සිතේ..!

• පුනර්ජනනීය දේශපාලනය •

[කවියේ අවසාන වු තැනින් යලිදු මුලසිට කියවන්නට ගැනීම තුල ඔබට මෙහි ඇති චක්‍රීය බව පිළිබඳ අදහසක් ගනු පහසුයැ.]

මුලින්ම අසාදාරණයක් වෙනවා
ඒකට කලකිරෙනවා
පස්සේ නැගීසිටින්න හිතනවා
විරුද්ධවාදීන් දකිනවා
උන් පරාජය කරනවා

ජනතාව මේකත් දකිනවා

ඔවුන් සිතනවා
රූප දකිනවා
පුවත් කියවනවා කතා කරනවා
සිවිල් රුව මැවෙනවා
මැවෙනවා නොව තනනවා

ජන මතය ලැබෙනවා
ඔහු උඩට නගිනවා
පළා ලොව දිනනවා
අනාගතේ දකිනවා

ජනතාව මේකත් දකිනවා
සද්ද නැතිවම ඉන්නවා

දෙවියා උඩ ඉන්නවා
ඔහුට මෙය පේනවා
මූ පොරක් යැයි සිතනවා
ඔහුව පස්සෙන් හඹනවා

ඔහුට මෙය දැනෙනවා
දෙවි පහස මැවෙනවා
විඳිනු ආසා කරනවා
දෑත සවිමත් කරනවා

චූටි සවියක් දැනෙනවා
පොර ටෝක් වැඩි කරනවා
ජනයා තලලා පෙළනවා
අසාධාරණ කරනවා

ජාලගත කවිකම

අසම්පූර්ණ කවියක්

මං ඔයාගෙ
වටේ යනකොට
මට පෙන්නේ
ඔයා මගේ
වටේ යනවා
වගේ

බලන කොට
අපි දෙන්නම
වටේ ගිහින්
විතරයි

බාලචන්ද්‍රන්

14

කොටු බැම්ම මත හිඳ

වෘද්ධ හෙවත් අවසානයට මොහොතකට පෙර


Prototype

මා
කලකට පෙර
ප්‍රේමයේ මූලාදර්ශය
දුටුවේ නුඹෙනි

කල් යත්ම

ප්‍රේම හුවමාරුව තුල
එකිනෙකා පරිණතවෙත්ම
සංස්කෘතික වූ සියල්ලම
භෞතික විය

භෞතික නොවූ නවමු
පෙමක මූලාද‍ර්ශයක්
කවදා හෝ නුඹෙන්
එළි දකීවි යැයි කියා
අත හරින්නට
හිත දුන්නමුදු
තව තවත්
ඉවසිලිවන්ත වෙමි

මේ
ආදර ප්‍රෙහේලිකාවේ
නවමු මංපෙතක්
අපේ ආදරය
සෙවුවොත්

එදිනට

මට හොරෙන්
මා හිත කරන
ප්‍රේම නිදර්ශනය
සෙවිල්ල
අත හරිමි.

Bottom of my heart රෙකමදාරු කිරීම


ත්‍රිකෝණමිතිය

නුඹ මම හා ඇය
අතර වූ
ත්‍රෛ කෝණික
ආරවුල් වල ප්‍රාමාණික
අගය,

නුඹව ඌ සහ මා
අතර හුවමාරු වීමේදී
තැනෙන ත්‍රෛ කෝණික
ප්‍රේම පුරාණ වල අගයට
වඩා බෙහෙවින්
ඉහළයැ..,

ඉදින්,

මේ තුන්කොන් ප්‍රේමයට
ඌ සම්බන්ධ වූ කල
තෙකොණ චතුර්කෝණික ව
ඈට මමත් ඌට නුඹත්
වන ලෙද පාද සතර
සම වීමෙන්
මේ සමීකරණය
පැසඳේ.

Boa Sr හෙවත් අවසානයක අවසානය



කියනා කිසිත්
අසන්නට කෙනෙකු නැති කල
කියනා කිසිත්
දන්නා කෙනෙකු නැති කල
කියනා කිසිත්
තේරෙන කෙනෙකු නැති කල
මියෙන්නා හැර
කලයුතු දේ අන් කිම..,

දන්නා කිසිත්
බෙදන්නට නොහැකි කොට
බෙදනා කිසිත්
විඳින්නට නොහැකි කොට
විඳිනා කිසිත්
බෙදාගන්නට කෙනෙකු නැති කොට
මියෙන්නා හැර
කලයුතු දේ අන් කිම..,

පසු සටහන
Boa Sr යනු වසර 65000 කට එපිට ඉතිහාසයක් සහිත අන්දමන් දූපත් වල වෙසෙන "බෝ" ගෝත්‍රයේ ජනයාගෙන් ආවේනික "බෝ" භාෂාව කතා කල අවසාන සාමාජිකාවයි.., අන්දමන් දූපත් වලට ගොඩ බැසි බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයින් අතින් බොහෝ "බෝ" ගෝත්‍රික ජනයා සංහාරයට පත්විය. ස්වභාව ධර්මයා සහ ඉතා සමීප සහ සම්බන්ධයක් ගොඩ නඟාගෙන ජීවිතය ගෙන යන "බෝ" ගෝත්‍රය මේ වන විට ජීවත් වන්නේ මුලු ලෝකයේම 56 දෙනෙකු තරම් සුළු පිරිසකි.
කතා නායිකාව වන Boa Sr මහාචාර්ය අත්වීතා අබ්බී හට හමු වී ඈ හා අදහස් බෙදාගන්නා විට තමන් සිය ආවේණික බසින් සිය අදහස් බෙදාගන්නට කෙනෙකු නොමැති වීම නිසා ඉතා දුකින් හා සාංකාවෙන් සිටි බව සැලකර සිට ඇත..,

Boa Sr, 1925 දී අන්දමන් දූපත් වල ඉපිද වසර 85ක් ආයු වළඳා 2010ක් වූ ජනවාරි මස 25 වන දින ඉන්දියාව ආශ්‍රිත නිකොබාර් දූපත් හිදී රෝගාතුර ව මෙලොවින් නික්ම ගියා ය. 
ඉහත සටහන, තනිකම ජීවිතය කරගත් Boa Sr ගැන සිතා රචකයා විසින් ලියන්නට යෙදුනු නිසඳැසකි.

Boa Sr පිළිබඳව ජාල ගත වූ වෙනත් ලිපි
ගූගල් සෙවුම ► http://is.gd/4SHbXR
විකී පීඩියා ► http://is.gd/kFDa8y
ද ගාර්ඩියන් පුවත් අඩවිය ► http://is.gd/sbubh1
බීබීසී පුවත් අඩවිය ► http://is.gd/Puk0rO

එහිතට ඇමතුවෙමි

◄ වි ලෝ ම ය►

ගියෙමි මඟුලකට
සියල්ලම සිනහසෙති නටති
මනමාලිය හැර
හඬයි ඈ මුවෙහි
ඉකියක් තබාගෙන

සහභාගි වුනෙමි
"අව" මඟුලකට
සියල්ලම සුසුම්ලති හඬති
මළමිණිය හැර
නිදයි ඈ මුවෙහි
සිනහවක් නඟාගෙන
Return top | ඉහත්තාවට නැවතත්