තවම නොදුටු ඒ රුවැති "සිසිල්" කවිපොත


කියවන්නට බොහෝ දෑ
තිබුනත්
පිටකවරයට ආසා කරන
රුවැති "සිසිල්" කවි පොත
මටම ලියවුණක් දැයි
විටෙක සිතෙන තරමට ම
බොහෝ උණුසුම් කතන්දර
සිසිල්වට කවි කර
ලියා ඇති!

කියවත්දී වහින්න
කොපි බඳුන් අත
රැඳෙන්න,
අඩුගානේ පින්නවත්
හමන්න..!!
කවිය බොක්කේ වදින්නේ
එතකොටලු..!

බැරි වුනත් ගිටාරය වයන්න
මමත් ආසයි කවි පද මුමුණන්න
ආපහු දවසක පොතක් ලිව්වොත්
මමත් එනවා එකක් ගන්නට..,
එතෙක්
රුවැති සිසිල් කවිපොතට
වෙන් කරපු ඉඩ
පිළිගන්න!!

කාංචනා අමිලානි කරුණාමුණි "බූමරංගය ඔබේ ඇස් දෙක " කවි පොත පාඨකයන්ට තිලිණ කර දින පහකි. එහෙන් මෙහෙන් ඇහැට හමුවූ කවි හැරෙන්නට තවමත් පොත ලබාගන්නට නොහැකි වූ හෙයින් ඒ නොඉවසිල්ල මෙසේ කවි කර බුකියේ තබමි.
~2017 බිනර මස~

රූපය : බූන්දියෙන් 

කවිය තවමත් අවසන්ව නැත

නුදුරු දිනයක සිත වැළඳ ගත්
එදා නුඹ වෙත අදත් තවමත්
රහසින්ම නොකියාම කිසිවක්
ලියමි පෙම් කවි දහස් ගණනක්

කොහේ යන්නද දුක කියන්නට
ගත මරන්නද සිත් බිඳීන්නද
නොහැකි ඈ හට දුකක් දෙන්නට
යවමි පා කර සුසුම් ගුවනට

මුදා විසිකොට පැරණි මතකය
වෙන්ව යමි දිවි තිබෙන තැනකට
නොපිපි තරුවට පෙම් කරපු මම
පියඹ යමි අද ගගණ සිවු දෙස

ආලවන්තයින්ගේ දිනයේ [තේරුමක් නැති මාතෘකාවක්]


නුරා කියමන් ගිලිහිලා
ප්‍රේමයක් උපන් තැන සොයා
කිසි හිතක නැති ප්‍රේමයක් ගැනම
පතන්නට මම හුරුවෙලා

රුදුරු ලේ පිරි තෙපුල් දහසක්
සිනහවෙන් සුහද ඉවසලා
කාලයක් නොමැති මතකයක්
මොහොතකින් මා ඉවතලා

නොමළ ගෙයකින් අබ මිටක්
ආලයෙන් නොපිරි හදවතක්
තනිකමේ තිබු ගුරුත්වය මතම
ඇතුළු හදටම ඇලවිලා

ආයි නාවට කාරී නැති වග

හෙට අනිද්දා දවසක - වැස්ස ඇවිදින් කතා කෙරුවොත්
කියපන් කළු වළාකුලකට - පස්සේ දවසක හම්බවෙන බව

අකුණු ගසමින් හඬන හන්දා - කන්දේ උරහිස උඹට දුන්දා
වලාකුළු නුඹ දන්නේ නැතුවද - මංජු පස් යට නිදියගත්තා

අම්මාට හිටි එකම පොඩි දුව - දීග යන්ටයි හිටියේ එන මස
නුඹේ ගෙරවුම ඇසී විගහට - බේරගන්නයි දිව්වේ පහළට

කන්දේ උරහිස ලිස්සනා බව - මේඝ නුඹගේ කඳුළු දන්නැහැ
මංජු තවමත් නුඹේ පාමුල - තදින් නිදි වග කන්ද දන්නැහැ

ආයි ආපහු වැස්ස දවසක - කන්දේ උරහිස මේඝ හෙව්වොත්
කියාපන්..,
ආයි නාවට කාරී නැති වග - මංජු ගිය දොහේ ඔහේ ආ වග

-පොසොන් මස 05 වන දින, සවස-

කවුළුවෙන් ඈතට

ගැලවුණු කරාබුව
තවම 

පුටු කවර යට
කැඩුණු වීදුරු වලලු
කැබැලි සී සී කඩ


උණා දැමි ඒ දුහුල් සළුපට
අඩක් අසබඩ වැටී යහනත
තවම අවසන් නොවුණු මිදි යුෂ 

වැටී එබඳුන යුෂ ගලයි දසඅත

කවුළුවෙන් ඈත පෙනෙන
අඬ සදක මිහිරස

Nirvana

Souls
intertwined
locked
and
tangled in a web of samsara

Gasping for breath
reaching the Nirvana.

එමෙන් ම, ආදරය..!


ගඟුලක් අස වෘක්ෂ ගිමන් හලක 
තනා ඇති කැදැල්ලක 
තුරුලේ ඇති පියාපතකට 
වැසි ඇති බිජුවටද 
ආදරය අවැසිය..

හිමියන් ගෙනෙන තුරු
රස මස කිරි රුහිරෙන් පෝෂණය වෙන
වෘක ධේනුව සිය පැටවුන් තුරුළට ගෙන 
කරනා කෙළි කවට කම්වල ද
ආදරය තැවරී ඇත..

එමෙන් ම, 

වට්ස්ඇප් චැට් එකක
ගුරුමවක ගේ ගුටියක
පෙම්වතියකගේ ඉකියක
පියෙකුගේ බැණුමක
ආදරේ සඟවා තිබිය හැක..

හුදෙකලා ශිල්පි තෙම

කුටියක තුලට වී
නොතේරෙන බස් මුමුණන
කවදා හෝ නො ඇසි
තරංග සුසර කරවන

කිසිවෙක් නොමැති
නිල්ලට ම පෙම් කරන

කඳුකර කුළුනේ
හුදෙකලා තාක්‍ෂණික ශිල්පියෙකු
වෙමි මම..

නොරිදවූ රිදුමක්

කිසිත් නොවූ ලෙසට
එකිනෙකා නොදකින්න
එකිනෙකා නොපතන්න
පුරුදු වුනු හේතුව
හඬ ගා කියන්නට හැකි වුනා නම්
නෑ දුකක් මේ තරමට

දුක වැඩි නිසාවට
හිත ගල් වෙලා අද
රිදෙන්නෙත් නැහැ දැන්
හදවතේ රිදෙන තැන
රළුවෙලා ඒ තරමට
නිතරම රිදවලා ම,

නෑ දුකක් මේ තරමට
හඬ ගා කියන්නට හැකි වුනා නම්
ඒ දුක
කලකට පෙර එදා මා උරහිස
නුඹට දුන් විදිහට ම
Return top | ඉහත්තාවට නැවතත්