ලොකු අම්මා


බුදුන් පිටදුන් ඇසතු ගස අස
බැතින් මුදුනත් බඳින්නී
බුදුන් ගුණ කියවමින් ඇතුළින්
සිතෙන් සිල් පද කියන්නී

හඬ නඟා සිල් පද කියන්නට
නොහැකි බව හද දරන්නී
දුකින් පීඩිත හදක් පුපුරා
කඳුළු ගංගා ගලන්නී

කිනම් දවසක දෑත් එක්කොට
සිල් පද කියන්නද සිතන්නී
නිහඬ බව හද පාරවන සැත
ගොලු මුවේ වැට බිඳින්නී

පසු සටහන
ලොකු අම්මා කොහේ සිට ජයසිරිමා බෝධි වන්දනාවට පැමිණෙනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. හදිසියේ වෙනත් පුද්ගලික කටයුත්තකට අනුරාධපුරයට ගිය අවස්ථාවේදී, මලක් පහනක් පූජ කරන්නටැයි සිතා ශ්‍රී මහා බෝධියටත් ඉන් මඳ දුරකින් පිහිටි රන් වැලි මහසෑය වන්දනා කරන්නට මමත් මගේ පවුලේ උදවියත් ගිය මොහොතේදී මේ අපූරු උවැසිය දකින්නට ලැබුණි, ඕ කෘෂ ය. ඕ වියපත් ය. එ මතු නොව ඕ උපතින් ම මුක ඇත්තියෙකි.
යකඩ කටෙන් ඇසෙනා ධම්ම පද සවනත වැකෙතත් හඬ නඟා ගාථා කියන්නට නොහැකි වීමේ සොව ඈ පල කරන්නේ මහ හඬින් කෑ ගසා හැඬීමෙනි. බුදුන් පිට දුන් ඇසතු රුක දෙස යොමා සිය නෙත් පතන්නේ ඈ, මේ විපරිත මුක භවය ඈගේ අවසාන භවය වන්නට දැයි දන්නේ ඈ මිස අන් කවුරුන්ද..?
මේ ලියැවි කවි(?) පද අකුරු වන්නේ ඈ පිළිබඳ වූ සෝ බර මතකයෙනි. 

6 ක් අදහස් දක්වලා.:

නාඩියා නාඩිරත්න

පෙර කල පව් ගෙවෙනකම්...බුදුන් අභියස සරණ යදිනා අපේ කාලේ මාකට් නොවූ උපාසිකාවක්!

නෙරංජි සුලක්ඛනා

අද කාලෙ සිල් ගන්නෙත්, විලාසිතාවකට.. එහෙවු කාලේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇත්තටම තියෙන සිල් අම්මා කෙනෙක්!!

ලිහිණි

සැසලිණි මහද
සිසිලය නෙතඟ
ලොකු අම්මා තරමටම
ගොළුය මා ...
දුගී දුප්පත්ය මා හඳ බස

හිරු

ඔය අත්දැකීම මාත් ළඟදි ලැබුවා.. ඒ ආංගොඩ මානසික රෝහලේ නේවාසිකාවන් වෙත ගිය දවසක... ගොලු බව නොව, වචන ගලපා කතා කිරීමේ හැකියාව නොමැති කමින් ඔවුන් හඬා වැටෙනු දුටු විට දැනුනු හැඟීමත් මේ වැනිමය.

තිසර

ඇගේ පැතුම එය නම්, එලෙසින්ම ඉටුවේවා යැයි පතමු.

ආගන්තුකයා | Stranger

කවුරු එනකම් බලා ඉන්නද
සිතෙන් නම්ගම් කියන්නී..
බණ නෙමෙයි ඈ ගතු කියන්නේ..
ඇසතු රුක එය අසන්නී..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්