Prototype

මා
කලකට පෙර
ප්‍රේමයේ මූලාදර්ශය
දුටුවේ නුඹෙනි

කල් යත්ම

ප්‍රේම හුවමාරුව තුල
එකිනෙකා පරිණතවෙත්ම
සංස්කෘතික වූ සියල්ලම
භෞතික විය

භෞතික නොවූ නවමු
පෙමක මූලාද‍ර්ශයක්
කවදා හෝ නුඹෙන්
එළි දකීවි යැයි කියා
අත හරින්නට
හිත දුන්නමුදු
තව තවත්
ඉවසිලිවන්ත වෙමි

මේ
ආදර ප්‍රෙහේලිකාවේ
නවමු මංපෙතක්
අපේ ආදරය
සෙවුවොත්

එදිනට

මට හොරෙන්
මා හිත කරන
ප්‍රේම නිදර්ශනය
සෙවිල්ල
අත හරිමි.

16 ක් අදහස් දක්වලා.:

දේශකයා

සමීකරණයකින් ආදරය විසදිය නොහැක...

හිරු

//අත හරින්නට
හිත දුන්නමුදු//

කල්පනා කළා කළා..... මොකද්ද කියලා හිතාගන්න බෑ....

//ප්‍රේම නිදර්ශනය
සෙවිල්ල// ද?

අද නං බීලා වත් මේ සමීකරණේ විසඳන්න බෑ වගේ ... හි හි

බණ්ඩා...

පළවෙනි පාර කියෙව්වම තේරුනේ නෑ.
දෙවනි පාර කියෙව්වම ටිකක් තේරුනා කියලා හිතුනා.
ඉතින් තුන්වෙනි පාරත් කියෙව්වා. ආපහු තේරුනේ නෑ වගේ.

කොහෙම උනත් මේ කෑල්ලට මම ආසයි..

භෞතික නොවූ නවමු
පෙමක මූලාද‍ර්ශයක්
කවදා හෝ නුඹෙන්
එළි දකීවි යැයි කියා
අත හරින්නට
හිත දුන්නමුදු
තව තවත්
ඉවසිලිවන්ත වෙමි

samakayawate

ගණං දන්න එකෙක් මට මේකේ තේරුම කියල දීහල්ලකෝ...
මම සමකය වටේ ලියන නලීන්

Deeps

මේක නම් පොඩ්ඩක් තේරෙන්නේ නෑ වගේ නොවැ

තිසර

මාව මරං කන්නෙ නැත්තං මේං ඕක මට තෙරෙන හැටි....

ලව් කොරන කාලෙ ඉතින් කෙල්ලට වඩා වෙන දේවතාවියක් නෑනෙ... මාර අගෙයි... කිසී වැරැද්දක් නෑ... ඔන්න කල් යනකොට, ලං වෙනකොට, ටික ටික වැරදි පේන්න පටන් ගන්නවා... අර ලියුම් වල එහෙම මවපු දිව්‍යලෝක පොඩ්ඩ පොඩ්ඩ කඩං වැටෙනවා. සංස්කෘතික දේ භෞතික උනයි කියන්නෙ මං හිතන්නෙ මේ වගේ දෙයක් වෙන්ටැ... ලව් කරන කාලේ බෙදාගන්න අදහස්, කතා කරන වචන, කොරන්න ප්ලෑන් කරන දේවල තියෙන්නෙ හරි කාව්‍යාත්මක අදහස්නෙ. ඒ වුනාට ඉතින් සාමාන්‍යයෙන් බැඳපුවහම එහෙම, ගැහැණු පාර්සවේ කස්ටියගේ හීන භෞතික පැත්තට බර වෙනවනේ... ගෙයක් දොරක්, ගෙදර බඩු භාණ්ඩ වගේ දේ වලට. ඒක වෙන්ටැ මේ කියන්නෙ. ඒ වුනාට පිරිමියා කැමති අර ඉස්සර වගේ කාව්‍යාත්මක අදහස් වලින් ලව් කොර කොර ඉන්ට (ඕක ඉතින් ප්‍රායෝගික නොවුනත්, පිරිමින්ගේ හැටියක් ). ඉතිං මේ වෙලාවට මේ පිරිමියාගෙ හිත වෙන වෙන තැන්වල ඇදෙන්ටත් බැරි නෑ.. තමන්ගේ හිතේ තියන විදිහේ ලව් එකක් හොයං... ඉතිං... දැන් තියන ලව් එකේ මොකක් හරි වෙනසක් සිද්ධ වුනොත්, එදාට හිත එහෙ මෙහෙ යන එක නතර වෙයි කියන එක වෙන්ටෝනෙ කියන්නෙ...

අනේ මන්ද ලියල ඉවර උනාට පස්සේ.. මටත් තේරෙන්නෙ නෑ වගේ...

Lishan Puwakovitage

තිසර : උඹ හරියටම හරි මචන්. මම මේක ලිව්වා නම් ලියන්නේ මීට වඩා වෙනස් විදියකට. එහෙම උනොත් ඒකත් තේරෙන්නේ නැතිව යාවි.., උඹ ඒ පාපෙන් මාව බේරගත්තා..! :)

තිසර හැර අදහස් ලියූ අනෙක් සියල්ලන්ට ම : පද පෙළ නොතේරුණු අය තිසරගේ කොමෙන්ටුව කියවන්න..!

හිරු

තිසර තේරුම් කළාට පස්සේ තේරුනා...

කතාව ඇත්ත


ඒත් අසාධාරණයි....

PM

කවි කියන්නේ මෙහෙම හිත හුරලා ඔළුව කරකවන ජාතියක් වෙන්න ඕනා. ඇත්ත නම් මට නම් සීනි බෝල කවි කියවලා එපා වෙලා.( මං කියවපු සීනි බෝල කවි හුඟාක් ලියලා තියෙන්නේත් මං තමා.) මාත් දෙපාරක් කියෙව්වා. මේ කවිය ගැන මටත් කියන්න තියෙන්නේ පොදු අදහසමයි. තිසර දකින හා ඔහු විසින් වචන කර මට පෙන්වන අර්ථ ඉරාගෙන මේ පහත පද මගේ අවබෝධතාවය පරයා නැඟි තිබෙනවා.

//භෞතික නොවූ නවමු
පෙමක මූලාද‍ර්ශයක්
කවදා හෝ නුඹෙන්
එළි දකීවි යැයි කියා
අත හරින්නට
හිත දුන්නමුදු
තව තවත්
ඉවසිලිවන්ත වෙමි//

ඉහත කියන පද ටික විතරක් හතර පාරක්ම.. කියෙව්වා. ඇත්තමයි තිසර කියෙව්ව ටික කිව්වත් මට මේ පද තේරුම් ගන්න බෑ. ඒ ඇයි කියනවා නම් මේ කියන්නා වු කථකයා විසින් කියන්නේ භෞතික නොවන , ඇත්තෙන්ම තිසර කියන ජාතියේ ආදරය තුළ ගැබ් වන අර මනෝවින්දනීය ලෝකය වන ලෝකයක් පතනවා... බලාපොරොත්තු වනවා. ඒ වගේ ලෝකයක් එලිදකිවි කියලා හිතලාද මේ අත්හරින්න හිතෙන්නේ.? මොන මඟුලක්ද මංදා ... ඒ කියන අදහස් දෙක සම්බන්ධ වෙන පද ටික නොවෙන්න කතාවේ අවුලක් නෑ.

එත් කවිය සම්පුර්ණයෙන් අරන් බැළුවාම කාලයක් තිස්සේ ඇතිවන බලාපොරොත්තු ඉටු නොවිමේ අළුපාට හැඟම් ජිවිතය උදාසීන කරවනවා... ඒ අස්සේ අන්තීමට කියන අවසාන පද ටික නම් හිතට දැනෙනවා.

//එදිනට

මට හොරෙන්
මා හිත කරන
ප්‍රේම නිදර්ශනය
සෙවිල්ල
අත හරිමි.//

මේ කතාව කතා ගොඩාක් කියනවා. මෙයා මෙහෙම නිදර්ශන සොයා සොයා යන ගමන එක හදවතක් ඇති මිනිහෙක්ගේ උර දෙකට අඩුම ගානේ හදවත් දෙකක්වත් හේත්තුවන ලකුණුත් මට පේනවා.


Lishan Puwakovitage

මූණුපොතේදී සමරට කිව්ව දේ මම පියුමිටත් කියන්නම්..,

අසීරු දෙයක් සොයන එකට වඩා අමාරුයි
රික්තකයක ට පෙම් කරන එක
ආදරේ prototype එක
තවම හදලා නැතුව ඇති..!

දෙයක් අපට අලුත් නම් සංස්කෘතිකයි, ඒක කල්යත්ම භෞතික වන්නේ දෙදෙනාගේ චින්තන තල වල ගැටීම නිසා වන හුරු පුරුද්ද නිසාමයි..!
හිරු කියනවා වගේ ඒක අසාධාරණයි තමා ඒත් මොනවා කරන්නද?
සමහර විට මම හොරුන්ගේ පැත්තට වැටිච්ච ගිරවා වගේ වෙන්න ඇති ඒකයි නොපතනදේ ලියවෙන්නේ..!

//මේ කතාව කතා ගොඩාක් කියනවා. මෙයා මෙහෙම නිදර්ශන සොයා සොයා යන ගමන එක හදවතක් ඇති මිනිහෙක්ගේ උර දෙකට අඩුම ගානේ හදවත් දෙකක්වත් හේත්තුවන ලකුණුත් මට පේනවා. //

අනාගත වාක්‍යක්ද?
ඒ උනත් මේ කතාව අති භයානකයි, ලසිත කොහේදෝ ලියලා තිබ්බා වගේ double ඇඳක බුදියන single හිතක් නෙවෙයි මම :D
මොනවා උනත් මේ සංවාදයට ඔබට ස්තූතියි..! :)

PM

'මගේ ආදරය' කියන ඒකට මුලාදර්ශයක් වෙන්නේ 'මගේ චිත්ත සන්තානය' විසින් අවශෝෂණය කර ගන්නා ප්‍රමාණයත් එක්ක සාපේක්ෂව නොවේද?(මම කියන වචනය පොදු ආත්ම කථනයක් ලෙස ව්‍යවහාර කරන විට එවිට එහි පොදු සාධක සොයා ආදරය මෙ යැයි කියා පානවා.) හැබැයි මේ කොයි කතාව තුළත් ‍ඒ කියන සාපේක්ෂ බව ජිවිත කාලයකටම වරයි.. මේ මොහොත ඇත්තේ මේ මොහොතේ විතරක්ම නිසා. නමුත් දිගින් දිගටම සමාන වු අළුපාට හැඟිම් වලින් පහර කෑම ජිවිතය මන්දෝත්සාහි කරවනවා. ඒ ඇත්ත මං මේ කවිය පුරාම දකිනවා. ඒ නිසායි කමෙන්ට් එක මං අතින් ලියවුනේ.

පැතීම හා නෙපැතීමත් ඒ වගෙයි. අර ගිරවු සිය සංස්කෘතිය විසින් ඩැහැ ගනු ලැබුවා අපිව වගේම... ඒ නිසා මේ සියළු ප්‍රකාශන බිහි වන්නේ හුදෙක්ම ආත්මකථන ලෙස ම නොවේ. ඒ නිසා ගිරවාගේ කතාව සාපේක්ෂව ගත හැකියි. ඒ කියන්නේ නරක ගිරවාට හොද ගිරවා ගැන හිතෙන්නේ 'මුට නං *****' කියලා මොකාක් හරි දෙයක් නේ. හොර ගිරවා ඌ මාරයි කියන්නෑ නේ... ඒක නොපතන දේ නොවැ හොද එකා කරන්නේ. ඒක හංදා එහෙම කියලා අත පිහ දා ගන්න බෑ.

මේ කවිය උනත් ඔබ සිත තුළ ඉපැද මෙහි ලියවෙද්දි එය පුද්ගලිකත්වයෙන් එහාට යනවා කියලා මං හිතුවා.. ඒ නිසා මං ලිව්වේ රචක ඔබතුමා ගැන නොවේ.. කථකයා වන එතුමා ගැනයි. එතතුමා නිදර්ශන සොයා ගත හැකි නම් අර අනෙක් ජීවියාගෙන් මොකටද මේ අළුපාටක්? මං කියන්නේ මේ පද ඇතුලේ ලියවෙලා තියෙනවා එයා හෙව්වා නිදර්ශන; තමාත් එක්ක නීරස ජීවිතයක් බෙදා ගන්න ජීවියා එක්ක සංසන්දනය කළ හැකි. ඒකයි එක් හදවතකින් ගැහෙන දෙඋර මත තවත් හදවත් දෙකක් සැතපේවි කියා මා අදහස් කලේ...

ඔබේ මිතුරා කියා ඇති ඇ‍‍ඳේ කතාව ලස්සනයි. ඒක හිස් දෙකක් ඇති කතාවක්. කොච්චියක් වගේ... දෙපැත්තටම යා හැකියි නොවැ. කොහොම උනත් සහොදරයා අර මං කිව්ව ටික තේරුනේ නෑ කියලා.. සත්තකින්ම දැනටත් නෑ ම තමා.

ක්මෙන්ට් වලට උත්තර දෙන එක ඇත්තටම හොද ගති ගුණයක් වන්නේ අපි ගැහුවාට ඔබ අඩුම තරමේ කෑ ගහන්නේවත් නැත්නම් මේ කවියේ කියන්නහේ අළුපාට හැඟිමක් එනවා. එල හරකායි මී හරකායි එකම කණුවේ බැන්දා වගේ. ඔබ සහ අපේ ලියවිල්ල ඇතුලේ ඔබත් අපත් ප්‍රතිලෝමයි නේ. ඔබ ලියද්දි අපි කියවනවා...ආයේ අපි ලියද්දි ඔබ කියවනවා. ඒකෙන් කොහොමෑ කතාවක් ඇතිවෙලා ඝට්ටනයක් ඇති වෙලා ප්‍රගමනයක ලාදළු බිහි වෙන්නේ? ඒ හංදාම ස්තූතියි මේ ප්‍රවණතාවයට!

මේ තරම් ඉඩක් ගත්තාට සමාවෙන්න. මේක තව දිගට ලියන්න මිසක් කෙටි කරන්න හැටියක් නෑ.

තිසර

තවත් වචන කීපයක් එකතු කරන්ට මට අවසර....

ඇත්තෙන්ම මම කොමෙන්ට් එක දැම්මේ... අයිතිකාරයා කොමෙන්ට් වලට පිළිතුරු දෙන්නේ නැද්දෝ කියන සිතිවිල්ල උඩ. නැත්නම් කවියක වචන වෙනස් විදිහකට ලියලා පෙන්නන එකත් හරිද කියලා මට හිතෙන වෙලාවල් තියනවා. කෙනෙක් තේරුනේ නෑ කියලා අත් හරිනවට වඩා, වෙන විදිහේ වචන ආශ්‍රයෙන් තේරුම් ගනිද්දි, ඊලඟ වතාවෙදි කවියක් නිකං කියවලා තේරනවද බලන්න හොඳ උදව්වක් වෙයි කියලයි ලිව්වේ. අනික, මම ඔය කිවූ වචන ටිකෙන් ලිශාන් අදහස් කරපු අර්ථය මතු නොවෙන්නත් ඕන තරම් ඉඩ තිබ්බනෙ. කලින් වචන සාර්ථකවීමේ ආඩම්බරය උඩ, PM මතු කරන ප්‍රශ්නයටත් 'මට හිතෙන හැටි' මට්ටමේ උත්තරයක් දෙන්න තමයි ඉල්ලුවේ අවසර.

@PM

මේ අත හැරීම තේරුම් ගන්න, කවියේ අන්තිම කොටසට යන්න ඕනේ මං හිතන්නෙ. එතනත් තියනවා නේද අත හැරිල්ලක්.

//ආදරය තුළ ගැබ් වන අර මනෝවින්දනීය ලෝකය වන ලෝකයක් පතනවා... බලාපොරොත්තු වනවා. ඒ වගේ ලෝකයක් එලිදකිවි කියලා හිතලාද මේ අත්හරින්න හිතෙන්නේ.?//

ඒ අත හරින්න යන්නේ නිදර්ශනය සෙවීම.

ඔන්න දැනුයි දැක්කේ, මේක හිරු මුලින්ම මතු කරලා තියෙන්නේ දෙවෙනි කොමෙන්ට් එකේ.

@හිරුවා..

//කතාව ඇත්ත
ඒත් අසාධාරණයි.... //

ගොඩක් ම අසාධාරණ නෑ වගෙයි.

//ආදර ප්‍රෙහේලිකාවේ
නවමු මංපෙතක්
අපේ ආදරය
සෙවුවොත්//

දැන් කියන්නේ මූලාදර්ශයම බලාපොරොත්තු වෙනවා කියන එකම නෙමෙයිනේ. මේ ප්‍රහේලිකාවට විසඳුමක් "අපේ ආදරය" සෙව්වොත්...

එතනදි පිරිමියත් වගකීම ගන්නව නේද?

---

කවි ගැන මෙහෙම හරි කතා කරන එක ගැන සතුටින් ඉපිලී ගිහින් ඉන්නෙ මං..

Lishan Puwakovitage

පියුමි ►
//'මගේ ආදරය' කියන ඒකට මුලාදර්ශයක් වෙන්නේ 'මගේ චිත්ත සන්තානය' විසින් අවශෝෂණය කර ගන්නා ප්‍රමාණයත් එක්ක සාපේක්ෂව නොවේද?(මම කියන වචනය පොදු ආත්ම කථනයක් ලෙස ව්‍යවහාර කරන විට එවිට එහි පොදු සාධක සොයා ආදරය මෙ යැයි කියා පානවා.) හැබැයි මේ කොයි කතාව තුළත් ‍ඒ
කියන සාපේක්ෂ බව ජිවිත කාලයකටම වරයි.. මේ මොහොත ඇත්තේ මේ මොහොතේ විතරක්ම නිසා. නමුත් දිගින් දිගටම සමාන වු අළුපාට හැඟිම් වලින් පහර කෑම ජිවිතය මන්දෝත්සාහි කරවනවා.//

ඇත්ත 100% ම එකඟයි.

//පැතීම හා නෙපැතීමත් ඒ වගෙයි. අර ගිරවු සිය සංස්කෘතිය විසින් ඩැහැ ගනු ලැබුවා අපිව වගේම... ඒ නිසා මේ සියළු ප්‍රකාශන බිහි වන්නේ හුදෙක්ම ආත්මකථන ලෙස ම නොවේ. ඒ නිසා ගිරවාගේ කතාව සාපේක්ෂව ගත හැකියි. ඒ කියන්නේ නරක ගිරවාට හොද ගිරවා ගැන හිතෙන්නේ 'මුට නං *****' කියලා මොකාක් හරි දෙයක් නේ. හොර ගිරවා ඌ මාරයි කියන්නෑ නේ... ඒක නොපතන දේ නොවැ හොද එකා කරන්නේ. ඒක හංදා එහෙම කියලා අත පිහ දා ගන්න බෑ.//

අපි කරන සියලු දේම එකිනෙකාට සාපේක්ෂයි.., ඒක නියතයක්.., ඒ නිසා එකිනෙකාව වර්ණනය කරලා අපිට පක්ෂගත වෙන්නට බෑ නේද? ඉතින් මේ හේතුව නිසාම අපිට අත පිහ දාගෙන පැත්තකට වෙන්න බෑ. නරක ගිරවා වෙන එක හොඳ ගිරවා වෙන එකට වඩා වාසි දායකයි පියුමි, හේතුව තමා නරක ගිරවට ඕනෑම දෙයක් කියලා දාන්න පුලුවන් වීම. අපි හැමෝම ඇතුලේ අඩුවැඩි වශයෙන් නරක ගිරවු ඉන්නවා.

//මේ කවිය උනත් ඔබ සිත තුළ ඉපැද මෙහි ලියවෙද්දි එය පුද්ගලිකත්වයෙන් එහාට යනවා කියලා මං හිතුවා.. ඒ නිසා මං ලිව්වේ රචක ඔබතුමා ගැන නොවේ.. කථකයා වන එතුමා ගැනයි. එතුමා නිදර්ශන සොයා ගත හැකි නම් අර අනෙක් ජීවියාගෙන් මොකටද මේ අළුපාටක්? මං කියන්නේ මේ පද ඇතුලේ ලියවෙලා
තියෙනවා එයා හෙව්වා නිදර්ශන; තමාත් එක්ක නීරස ජීවිතයක් බෙදා ගන්න ජීවියා එක්ක සංසන්දනය කළ හැකි. ඒකයි එක් හදවතකින් ගැහෙන දෙඋර මත තවත් හදවත් දෙකක් සැතපේවි කියා මා අදහස් කලේ.//

සියල්ලම නොවුනත් බෝහෝ කවි මම මේ අඩවියේ ලියැවෙන්නේ මගේ අත්දැකීමක් පාදක කරගෙන ම තමා.., ඒ පාදක කරගැනීම තුල පාදඩ කමේ සිට සුජාත පුත්‍රයා දක්වා විවිධ චරිත මම රඟන්නට ගන්නවා.., ඒ රඟන චරිත ඔබ විසින් කියවනවා වගේම ඔබ වැනි සමහර අය මම පුරුද්දක් ලෙස කිසිවකට මගේ අදහසක් ලියන්නේ නැති උනත් අදහසක් මෙතැන ලියා යන්නට තරම් කාරුණික වෙනවා..,ඒක වෙනම කතාවක්. විටෙක මම අනුන්ගේ දුක අසන
හිතෛෂීයේකු ගේ චරිතය රඟපාන අතර තවත් වෙලාවකට හිත් පිත් නැති නරුමයෙකුගේ චරිතයට අඳිනවා එතනදී අර දෙඋරට හිස තියන්න ඉඩ දෙන්න ඉඩක් තියෙනවා.., ඒත් මම තවමත් අදහන දේ තම අර හිතෛෂීයාට වඩා නරුමයාගේ හිත තවමත් උණුවෙන්න තියෙන ඉඩ කඩ වැඩි බව. මම මේ කියපු දෙයින් ඔබේ පිළිතුර හදාගන්න පුලුවන් නේද?

//ඔබේ මිතුරා කියා ඇති ඇ‍‍ඳේ කතාව ලස්සනයි. ඒක හිස් දෙකක් ඇති කතාවක්. කොච්චියක් වගේ... දෙපැත්තටම යා හැකියි නොවැ. කොහොම උනත් සහොදරයා අර මං කිව්ව ටික තේරුනේ නෑ කියලා.. සත්තකින්ම දැනටත් නෑ ම තමා.//

දැනෙන විදිය වෙනස් ඒක එහෙමම තමා, කවිය ඇතුලේ හරස් පාරවල් හොයනකොට අපිටත් නොදැනීම අපිව අතරමං වෙනවා.., ඒක මම දන්නවා. නොදන්නා රෝගයට බේත් කරන්න තරම් මම හොඳ වෙදැදුරෙන් නොවෙයි මම.
(පසේ බුදු effect එක)

//කමෙන්ට් වලට උත්තර දෙන එක ඇත්තටම හොද ගති ගුණයක් වන්නේ අපි ගැහුවාට ඔබ අඩුම තරමේ කෑ ගහන්නේවත් නැත්නම් මේ කවියේ කියන්නහේ
අළුපාට හැඟිමක් එනවා. එල හරකායි මී හරකායි එකම කණුවේ බැන්දා වගේ. ඔබ සහ අපේ ලියවිල්ල ඇතුලේ ඔබත් අපත් ප්‍රතිලෝමයි නේ. ඔබ ලියද්දි අපි කියවනවා...ආයේ අපි ලියද්දි ඔබ කියවනවා. ඒකෙන් කොහොමෑ කතාවක් ඇතිවෙලා ඝට්ටනයක් ඇති වෙලා ප්‍රගමනයක ලාදළු බිහි වෙන්නේ? ඒ හංදාම ස්තූතියි මේ ප්‍රවණතාවයට!//

ඇත්තටම මම බොහෝ වෙලාවට මම ලියන දෙයකට වැටෙන කොමෙන්ට් වලට උත්තර ලියන්න යන්නේ නෑ.., එළ පට්ට මරු වගේ අදහස් වලට මම එතරම්ම මනාපයක නැති නිසා.., ඉතින් ප්‍රගමනයක් ඇතිවෙන්න, සහ රචකයාගේ කාරණාව බුදුවෙන්න තියෙන ඉඩකඩ වැඩි කොමෙන්ටුවකට කොහොමද මම මගේ අදහස් නොලියා ඉන්නේ? :)

//මේ තරම් ඉඩක් ගත්තාට සමාවෙන්න. මේක තව දිගට ලියන්න මිසක් කෙටි කරන්න හැටියක් නෑ.//

කිසිම අවුලක් නෑ.., කවියක් මෙහෙම සංවාදගත කරනවාට මගේ නොවක් තුතිය. :)

Lishan Puwakovitage

තිසර ►
//ඇත්තෙන්ම මම කොමෙන්ට් එක දැම්මේ... අයිතිකාරයා කොමෙන්ට් වලට පිළිතුරු දෙන්නේ නැද්දෝ කියන සිතිවිල්ල උඩ. නැත්නම් කවියක වචන වෙනස් විදිහකට ලියලා පෙන්නන එකත් හරිද කියලා මට හිතෙන වෙලාවල් තියනවා. කෙනෙක් තේරුනේ නෑ කියලා අත් හරිනවට වඩා, වෙන විදිහේ වචන ආශ්‍රයෙන් තේරුම් ගනිද්දි, ඊලඟ වතාවෙදි කවියක් නිකං කියවලා තේරනවද බලන්න හොඳ උදව්වක් වෙයි කියලයි ලිව්වේ. අනික, මම ඔය කිවූ වචන ටිකෙන් ලිශාන් අදහස් කරපු අර්ථය මතු නොවෙන්නත් ඕන තරම් ඉඩ තිබ්බනෙ. කලින් වචන සාර්ථකවීමේ ආඩම්බරය උඩ, PM මතු කරන ප්‍රශ්නයටත් 'මට හිතෙන හැටි' මට්ටමේ උත්තරයක් දෙන්න තමයි ඉල්ලුවේ අවසර.//

ඇත්ත මම කොමෙන්ට් කරන්නේ අඩුවෙන් තිසර මම ඒ බව පිලිගන්නවා.., ඒකට හේතුව මම පියුමිට දුන්න පිලිතුරේ ලියවිලා තියෙනවා. මටත් පුදුම හිතුනා උඹ එක පාරින්ම මෙහෙම කවියේ යටි පෙළ අල්ල ගත්තු එක ගැන..! ඒක පට්ටම පට්ට මෙව්වා එකක්! :)

//කවි ගැන මෙහෙම හරි කතා කරන එක ගැන සතුටින් ඉපිලී ගිහින් ඉන්නෙ මං..//

එකෙන්ම!! :D

හිරු

@තිසර

මං අසාධාරණයි කිව්වේ මෙන්න මේ ටිකට...

///ගැහැණු පාර්සවේ කස්ටියගේ හීන භෞතික පැත්තට බර වෙනවනේ... ගෙයක් දොරක්, ගෙදර බඩු භාණ්ඩ වගේ දේ වලට. ඒක වෙන්ටැ මේ කියන්නෙ. ඒ වුනාට පිරිමියා කැමති අර ඉස්සර වගේ කාව්‍යාත්මක අදහස් වලින් ලව් කොර කොර ඉන්ට//

පිරිමින්ට වඩා කැමතියි ගෑණු කාව්‍යාත්මකව ලවු කර කර ඉන්න.. වැඩිපුරම ඒ වගේ ආදරය බලාපොරොත්තු වෙන්නෙත් ගැහැණු.. හැබැයි පවුල් සංස්ථාව තුළ ගැහැණියකට පැටවෙන බර ඒ කාව්‍යාත්මක බව මොට කරලා දානවා.... ගැහැණිය තමන්ගේ සම්පූර්ණ ශරීරය පමණක් නෙවෙයි, තමන්‌ෙග් චිත්ත සන්තානයම කැපකරනවා පවුල් සංස්ථාව වෙනුවෙන්... පවුලේ අනිත් අයගේ අවශ්‍යතා වෙනුවෙන් උදෙන්ම ඇඳෙන් නැගිටින ඇය, රෑට ඇඳට යන්නේ තවත් යුතුකමක් ඉටු කරන්න සැදී පැහැදිලා.... එතනදි ඇයට කාව්‍යාත්මක වෙන්න ඉඩක් තියෙනවද.... ?

පිරිමියාට මේ අතින් තියෙන නිදහස වැඩි නැද්ද...? දවසේ යම්කිසි කාලයක් තමන් වෙනුවෙන් ඉතුරු කරගන්න පිරිමියාට තියෙන හැකියාව වැඩියි... මඟතොටේදි හමුවන චරිත, ඇසට පෙනෙන දකින දේවල් පිරිමියාගේ සිතේ ඇති කරන පෙරළිය, ඔය කියන්නාවූ කාව්‍යමය ආදරය බලාපොරොත්තු වෙන්න ප්‍රධන හේතුවක් වෙනවා.. නමුත් පවුල් සංස්ථාව තුළ කොටුවී සිටින ගැහැණියට, පවුලෙන් එළියට ඇහැ යොමන්න අවස්ථාවක් නෑ... දකින්න, අසන්න අමුතු දෙයක් නෑ... ඒ වගේ අවස්ථාවක හැඟීම් මැරිලා යන්න තියෙන ඉඩකඩ වැඩියි...

මට ඔය බරපතල චවන දාලා මේක කියන්න තෙරෙන්නේ නෑ.. නමුත් කාලක් අපි ගෙවල් වල ඉන්න ගෑණු එල්ලිලා හින්දි නාට්‍ය බලනවා කියලා කතාබහ කළා නේද..? මම නම් එතනදි දැක්ක ලොකුම දේ තමයි ගෙවල් වල ඉන්න ගෑහැණු බලාපොරොත්තු වෙන දෙයක් ඒ කතා වල තිබ්බා කියන එක.. ඒ තමයි තමන් කාලයකට කලින් අමතක කරලා දාලා අතහැරපු, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු....

මේක මම කිව්වේ මේ දේදි ගැහැණීයට දොස් පැවරීම සාධාරණ නෑ කියල ඇයි මම කියන්නේ කියලා පැහැදිලි කරන්න...

කවියේ කතාවෙදි උනත් අන්තිමට ඇයි ප්‍රේමයේ නිදර්ශනය අතහරින්න හිතෙන්නේ... නොලැබෙන දෙයක් ගැන සිහින මවලා වැඩක් නෑ කියලා හිතෙන නිසා නේ.. ඒ වගේ තමයි... බො‌හෝ දුරට ගැහැණීයක් විවාහයත් සමඟ තමන්ගේ බලාපොරොත්තු, ජීවිතය පිළිබඳ සිහින වළලා දාලා, තමන්ගේ ජීවිතය අනුන්ගේ බලාපොරොත්තු, සිහින වෙනුවෙන් කැප කරන්න පටන් ගන්නවා.. ඒත් පිරිමියා ඒ තරම් කැප කිරීමක් කරන්නේ නෑ.. හේතුව පවුල් සංස්ථාව තුළ තීරණ ගැනීමේ බලය තියෙන්නේ ඔහු අතේ නිසා....

දුකා

හ්හ්ම්ම්ම්ම් . . . . අලුත් වැස්සක් වහින්නට සැරසෙයි . . පුරුදු ආකාසේ . .. !! කියන්න කාලේ ලඟයි වගේ මලේ . .

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්