ශෝකාලාපය

Devil_tattoo_by_cal87

යක් දෙස් තෙමේ
මතුරා ගැසූ
හැත්තෑ වෙනි ගැටයෙන්
ගැටහැත්තේ දී
නූල ට හසු කරගති
යක්ඛ තැන..

හහ් හා එම්බා කලු
යකුව,

තගේ මේ කෙළි නැටිලි
අවසන්යැ මින්මතුව
හදි කෙරූ යුවතීට
සැනසීම නොදුන්නොත්
තගේ වත මේ කුපේ
සදා වල දමනු ඇති

එසේවුව මෙසේ අද
දෙවොල් පොල පුරාවට
මා ගැනම දෙස්දෙවන
තගේ කුණු ලේ බිඳක
ඇගේ කුසතුල මෙකල
පෙරළි ලන බවට මම
කෙසේ නම් කියන්නද

සැමදාම
පැරදි යන
කලුම කලු යකා
මම..

වර්ෂා..!

නිමිත්ත: ඉදිරි මාස කිහිපය තුල රටට වර්ෂාධික කාලය එන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි ඉදිරිපත් කරයි.

123

රුදුරු වෙස් මවාගෙන
හාත්පස අඳුරු කර
අකුණු කෙටුවද හිතට
දන්නවා සොඳින් මම
නුඹ කවුද කියා අද

ඉරි තැලුව සිත් පසට
සනසන්න එක්වන්න
කෙනෙකුවත් නැති කලෙක
රුදුරු වෙස් පැලඳි නුඹ
දිය සලයි රහසින් ම

රුදුරු ඒ හරය ගැන
සැඟවූ ඒ සොඳුරු බව
පෙන්වනා කැඩපතක
හිමිකරුවා මා බවට
නොදැන ලෙස සිටියි නුඹ

ඉවත්කර රුදුරු මුව
සිනාසී මා සමඟ
සලා දිය මේ බිමට
පෙර වූ එ සරු බවට
ගන්ට බාරයි නුඹට

තිර ලූ යහනට එපිටින්

jodha


සුසුම් පොදක් පෙරුම් පුරා
සුවැති සඳක් මුදුන් වෙලා
"ඇය"ක ඇවිත් පවන් සලා
ලොවක් සැනින් එකලු කලා

පෙමක් දුරින් පිපෙත් සැනින්
හදක් රිදෙන තැනක් වෙමින්
කලින් පෙමින් දුරස් වෙමින්
දකිත් එපෙම හඬත් වෙසින්

ලියක සලා සෙමෙර පවන්
දැවූ කාම ගිණි නිවමින්
පොවා විතක් සනසවමින්
කියවත් ඈ නුරා වදන්

"සතිය" ගිලෙන තුරු රසඟේ
කෙඳිරුම මා එකලු කලේ
සයනේ පබලුමුතු ගැස්සේ
රහස් කතාවක ඔස්සේ

නිවා ගින්න රාග මතේ
දවටා ඈ ගත සලුවේ
නැඟිට ගොසින් මහමලුවේ
කිම රජ නුඹ කල් මැරුවේ

වෙනස

sayane

කිසිම කිසි හැඩයක් නැති කවියක්..!

h2 copy

 

අනික් උන්
කැටයම් කරලා
ඔප දමද්දී වචන..,
මම
ඒ කැටයම් අස්සෙන්
හැලුණු
කවි කුඩු එකතු කරලා
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

පෑගිලා
මියෑදෙන්නට ළඟ
මිනිස්සු වෙනුවෙන්
කුවේර
කැටයම් ජීවිත
අස්සෙන් හැලිච්චි
අදහස් එක්කහු කරලා
ඒ වචන වලින්
ජීවය පිඹලා
ආපහු නැඟිට්ටවන්නට
මම..,
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

අංකුර පෙමට
කාමර
දෙන්න පොරකන
එහෙත්
ඒ පෙම
පෙම්මුල්ල අගයන
ගත සැපට වඩා
නිරාමිස සුව අගයන

අංකුර පෙම් හදවතට
මම
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

 

ජාතිය රන් විමණක් ව
නොදකින
දේශප්‍රේමයෙන් "ලූණු" ගඳ ගහන..,
අවාසනාවට
පර රටින් ආ තමන්ගේ
ගූ ගඳ නොදැනෙන
නිර්වින්දිතයින්ට
කෙළ වෙන්න
මම
ලිව්වා කවියක්
කිසිම කිසි
හැඩයක් නැති
කවියක්..!

Return top | ඉහත්තාවට නැවතත්