සුන්දරී මංජරී

කරදිය වලල්ල මත
කරක් ගහන සුන්දරී
සුන්දර ගීත ගයන
ඔබ මගේද මංජරී
ආදර පුදසුන ළඟ
වැඳ වැටුනත් පෙම්බරී
අපගෙන් අප ඈතද
නොදන්නෙමු සුපෙම්බරී


මද්දල තාලෙට
ඉඟ සුඟ නටවන සුන්දරී
තුති ගී ගයමින්
නුවරුන් පිනවන පෙම්බරී
මා හද ඔබගේ
යැයි නොම සිතූ හැඟුම්බරී
කිම එක් දින පෙමකට
සිත පිදුවේ මංජරී


මූදු හතෙන් එහ මම
දිගුකල් නැව් නැඟුනත්
එළඳුන් නොදැක නොවේ
ඔබහට පෙම පිදුවෙත්
රූබර ළඳුන් අතර
ඔබ මට රන් තරුවක්
මංජරී නුඹ මගේය
එය නොවෙනස් කවදත්

belly dancerb

පෙම් ගිණුමක් හිස් වූ සඳ

Apple

ශේෂ නොමැති පෙම් ගිණුමේ
හර බැර දෙක සම නොවුනේ
හර බැර දෙක සමනැති කල
කොහොමද ගිණුමක් වූයේ

 

ඇය වෙනතක බලා හිඳී
මම ගල්කැට ගනී ගනී
හදවත් දෙක දුකින් පෙලී
යයි පෙම් ගිනුමත් ක්ෂය වී

 

ඈ හිත ලක රුපියල මෙනි
කොයි බැලුවත් එක තැන නැති
මම නම් මහ බැංකුව මෙනි
කවදාවත් සැලී නොසිටි

 

අසල තිබුණ තැම්පතුවක
බැරවිය පෙම් ගිණුම ලෙසට
ඇය දැන් නව පෙම් ගිණුමකි
ක්ෂය නොවනට සිතා සිටින

 

මා ගිණුමද විය ජංගම
අයිරාවිය මම මඟට ම
ඇගේ බැර කම මකාලන්ට
පෙම්ගිණුමක් සොයනෙමි මම

 

දැරියකි ඈ හිස් ගිණුමකි
මා වගේම බැරකම් නැති
තනි වූ මගේ හිස් ගිණුමට
ඇය හරි මම බැර කරගමි

තවම හොයන වෙනස

deffrence

උඹ කලුයි
මම සුදුයි ලු  (ඇත්තට ම මම තළෙලු)
උඹ ඉන්නේ ලැයිමෙ ලු
මම ඉන්නේ ගෙදර ලු
උඹ කොටියලු
අපි සිංහයො ලු
අනික
අපි අපෙන් හරි වෙනස් ලු..!

එහෙනං

 

උඹට තුවාල
උනාම පනින ලේ
රතුයි නං
මට ගැහුවාමත්
පනින ලේ
රතුයි නං

උඹට ආදරේ
දැනෙනව නං
ඒ ආදරේ ම
මටත් දැනෙනව නං

එහෙනං

ඔය හැමෝම කියන
අපි දෙන්නගේ
වෙනස මොකද්ද...?

 

මම
තාමත්
හොයනව
ඒක...!

මිතුර මේ කව පුදන්නේ ඔබ නමට ය

wa

දිරාගිය රුකක අබලන් බස් රථ අසල
බත් අහුලන ඉඳුල් අතින් මුව පිහින
කණ ඇස පිස දමා ගලනා කඳුලු බිඳ
සිඟමන් යදින්නෙකි බස් රථ වල නිතර


අපුල මුව අයා කියනා කවි මිහිරී
අත වූ නලාවෙන් පුරවයි අඩු කෑලී
නැවතුම් දෙකක් පහුවුනු තැන කලබල වී
හනිකට බසින්නේ මොනවද මුමුණමිණී


එක් දිනයක මම යනකල කඩුවෙලට
මේ ගීවේදියා නැඟුණා බස් එකට
ගයමින මියුරු ගී මිල්ටන් ගේ සිහින
සනසන්නට වීය සැමදෙන එහි සිටින


නැවතුම් දෙකක් පසුවූ පමණයි පාලූ
පෙර නොමදැකි ලෙස ඌ කලබල වීලු
නවතන් අයියේ නවතන් කියමින් මහරූ
බෑඟිරි හඬින් මූ කෑ ගැසුවයි යාලූ


කියනට මට අමතක විය එක දෙයක
ඇසුවා මම දිනක් ඔහු හමුවී මඟ ක
ඇයි නුඹ බසින්නේ හැමදින එක තැනම
කියපන් මිතුර දනගන්නට මනාප ම


මහත්තයෝ නැවතුම ළඟ ඇත සොහොනක්
එය මගේ පුංචි දුවගේ පොඩි සිරියාවත්
ඈ මිය ගොසින් දැන් අවුරුදු තුන හතරක්
මට ඇති නොවේ හැමදින ගොස් ඈ බැලුවත්


ගී කියමින් ය බස් රථවල ඇය වැඩුවේ
ඈ පොඩි දුවක් නොම දස විය පිරවූයේ
ඈ මවු මරා උපන් දුවණිය වුව මාගේ
ඈ මගේය මා හද ඇයගේ මිතුරේ


මෙලෙස කියන කල මට තතු ඔහු බසින
පැහැදෙන්නට විය හේතුව එය කරන
ලොව ආදරය පමණයි ඇති එකම දෙය
ඒ උපදේසේ මට දුන්නේ හිඟණ පිය


දින කිහිපයක් ගත විය කිසි නොවූ ලෙසම
මා හිත හටත් අමතක මේ සිදුවීම
මා යලි දිනක් සෙයිලම වෙත යන විටෙක
දුටුවා පුරුදු මූණක් ඇත  බිත්තියක


අවමංගල්‍ය දැන්වීමකි මා දුටුවේ
හිත නැවතුනේ මන්දැයි මට නොතේරුනේ
හැම දිනයකම මිල්ටන් ගී කියන අනේ
ඒ ගීවේදියා යයි නොම එන ගමනේ


දුව සිය බිරිඳ යැවි දෙසටම ගිය මිතුරේ
ගෙව්වා උනත් උඹ මේ වක ඒ කරුමේ
පින් පමුණන්නේ බුදු හට පුදලා පද්මේ
යලි ඉපදෙන්න කියලයි නුඹ දෙව් තුසිතේ

 

පරණපාර කොළඹ අවිස්සාවේල්ල බස් රථ වල නැගී ගී ගඟුලෙන් අප සනහන මිතුර.., පියසේකර.., ඔබට අමා මහ නිවන් සුව ලැබේවා..!

මම නුඹ හට නොම සලකමි

noma

ඇතුලත ගිනි පිටතට දී
පිටත ගින්න ඇතුලට ගත්
වදක භාරියාවක ලෙස
මම නුඹ හට නොම සලකමි

 

නොම ගැලපෙන අදහස් ඇති
නොම ගැලපෙන සිරුරු දෙකක්
සතප වන්න බෑ එකවිට
කවදාවත් හැමදාට ම

 

කෙතරම් හොඳ සැප සම්පත්
තිබුනත් මට හැමදාමත්
දෙන්නට සැප බෑ සොඳුරිය
නුඹ නැතිනම් මට හිතවත්

 

මා රිදවාලන්නට නුඹ
තැත්කෙරුවත් හැම දාට ම
පළි ගන්නේ නුඹගෙන්මයි
එය නුඹ දන්නෑ තාමත්

 

නැත වෛරය මට නුඹ ගැන
ඇති අනුකම්පාවක මිස
අප දෙන්නා නොබැන්දනං
අපි හොඳ මිතුරන් තාමත්

Return top | ඉහත්තාවට නැවතත්