සතුටුයි ද ජයතිස්ස?

කොතරම් පින් කලත් ජයතිස්ස
මම දුටුවේ නැහැ අයියේ නුඹ නම
පන්සලේ ඝංඨාරේ වැදුනෙත්
මස්කඩේ මුදලාලි තාලෙට

ගඩොලින් ගඩොල තබා නෙක පෙළ
කරවා ළඹ සැනින් ගෙන මැණුම් යස
බැන්දත් නුඹ අතින් ඝංඨා කුළුණ
පිබිදුනේ මස් කඩ මුදලාලිගේ නම

මේක මහා පිංකමක් සෝමේ
සල්ලි නොව පින් ටිකයි ඕනේ
එහෙම කියලා බැන්ද කුළුණේ
නුඹේ නම කොතැනකද තිබුනේ

පිනට කුලියට කුළුණ බැන්දට
විවෘතේත් පහු වෙලා සති දෙක
ගිහිං මස් කඩ ගාව හිටියට
මුදලාලි නුඹහට කුළිය දුන්නද?

~Nostalgia~

මම තවමත් ආස
ඔය දුන්න වගේ හැඩ ඇහි බැමට
ක්‍රීම් පාට නියපොතු වලට
චූට්ටක් දුඹුරු පාට කොණ්ඩෙට
ඇයි
කම්මුල් රතුවෙන නපුරු කමට

කොච්චර පරණ තැනක උන්නත්
හැමදාම හොයන අලුත් දේට
කවියක් වගේ හිත මත ගලන
අතොරක් නැති කතන්දර වලට

අන්න ඒකයි
මම තවමත් ආස
ඔය දුන්න වගේ හැඩ ඇහි බැමට
ක්‍රීම් පාට නියපොතු වලට
චූට්ටක් දුඹුරු පාට කොණ්ඩෙට
ඇයි
හැම පෝයකට ම අලුත්
හඳක් වගේ උපදින බලාපොරොත්තුවට
Return top | ඉහත්තාවට නැවතත්