කොලයක්, දරුවෙක්, මවක් හා කඳුලක්

kms

නිහඬවම
තුඩගින් කැඩී
ලොවට බර නැති
ලෙසින් පාවී
වැටෙයි හෙමිහිට
දිවියේ අවසන
තේරුමින් ගෙන
විලස වියැලුනු
කොහොඹ කොලයක්!

මවු සමඟවිත්
උයන් කොණ හිඳ
නටයි දුව පැන,
පෙර නොවූ ලෙස
නැවති එක තැන
කොහොඹ ගසෙකින්
වියැලී බිම වැටි
කොළ ඇහිඳ ගති
උයනේ සිටි එක
කුඩා දරුවෙක්!

පෙර කලෙක
ඔහු සමඟ දවසක
කල කතා මැද
හිස්වූ සිතිවිලි
ගෙවෙන තුරු
ඒ සොඳූරුකාලය
කොහොඹ කොල
වියලවා පොත් මැද
එකතු කල සැටි
මතකයන් ලෙස.
මතක කරවයි
වියෝ දුක් මැද
කොහොඹ කොල හා
කෙලින පුතු දැක
අසල සිටි එක
තුරුණු  වූ මව!

අහිමි පෙම
මතකයක රඳවා
ඒ මතක
පුතු මතම වියලා
ප්‍රේමයේ කලු
මතක මැද්දෙන්
නැඟී නුවනත
පෙර නොවූ ලෙස
රුදු මතක මැද
තනිවූ කඳුලක්!

පරණ රූ රැජිණ


කිසිවක් නොවූ තාලෙට
ලතාවට සිය සිරුර හැඩකර
ඇවිද ගෙන මා අසලට
පැමිණ හිඳගති
නිහඬ විලසට

පෙර වූ ඒ සිනහා
කෙළි කවට විරු කම්
නෑ මෙදා
පෙනෙනට

කෙලෙස නිහඬව
සිටිනුදැයි මේ
රුවැති ළඳ
සෝතාපයෙන්

සියල් අවසන
මදෙස බැලු ඈ
කියත් මෙලෙසට
වදන් ගුලිකර

"අද මට මේ ඔටුන්න තව එකෙක්ට පළඳන්න වෙනවනේ"

හරෝ හරා...

Kataragama


පාක්කුඩම් පඬුරු බැඳන් පොරොත්තුවක් මැද
යාල මැදින් පා තියනා ඉලංදාරි හද
ගිණි ලෑ සිත් කවුලු මැදින් කකියා රිදුනද
කද සුරිඳුන් වඳින්ට යයි දෙපයට වැඳ වැඳ

ඔකඳ දෙවොල් තුන් ලිප්ගල් අසල ගෙවෙන රැය
වල්ලි මවුන් මුරුගා දෙවිඳු පෙම් කතාව මැද
ආඬි ළිඳෙන් දෙවුණු දියෙන් මකවා තිබහද
කඳ සුරිඳුන් අප රැක ඇවිදයි පා ගමනක

දොළොස් මහේ පානට තෙල් දමා පැතුම් පතමින්
සුරබිදෙනක් විලසින් සිටිනා ඈ ගැන සිතමින්
පේවී පුන නූල දමා තිලක නළලේ තබමින්
ඇවිද ඇවිත් දෙමස පුරා බැතිබර ගී කියමින්

හරෝ හරා කියමින් අප තැන දුටුකල සැතපුම්
පෙරදා රෑ ගිණිලූ දර සෑ අතරින් ගොඩවල්
සැතපෙන්නට තැන් සොයනා අන්නවරු සමඟින්
කුඹුක්කං ඔයේ අසබඩ රැයක් ගෙවා දමමින්

එකම හදයි එක රුහිරුයි සැවොම එකයි සිතා
සැමට බෙදයි සැම වළඳයි එක පොංගල් පතා
සියක් සැතපුමක් දෙපයෙන් කියවන මේ දෙනා
එන වසරෙත් පා ගමනින් වඳියි සෙතක් පතා

නුඹේ මතකය මතින් නැඟිටිමි

ආදරේ මුලකුරු කියෙව්වට
කියල දෙන්නම් කියා කරනට
එදා සයනයේ කියලා දුන්නේ
රතිය මිසක වෙන කිමද හිමිසඳ

පිරිමැද අතින් පොපියූ දෙතොල්
පෙමින් සිප ලැම ආදරෙන්
ඇසූ කල කිමැ පෙම යනු
නැඟිට ගියේ කිම සයනයෙන් නුඹ

ඕනේ නැති විට යැවුමත්
යළිත් එන විට ඉඳුමත්
නුඹේ දාසිය මමද හිමිසඳ
රැවටි සිටියේ නුඹේ මිල දැක

රක්ත පොල්කා තිත් පිරි සයනේ
සැමදා නුඹ හා වැතිර හිඳිමිනේ
වදන් සමඟින් පොර බදා මම
නුඹේ මතකය මතින් නැඟිටිමි

එකමත් එක රටක රජවරු


Disclaimer පහත කවි පෙළ සකල සිරින් පිරි අසන අසන ලෝසත සාධුකාර දෙවන්නා වූ අප ශ්‍රී ධර්මද්වීපයට සමකරන්නට තනනා සියල්ලෝම අපාගත වන බැව් දැන ගන්නවා යෙහෙකි. එසේ සිතන්නටත් උඩගෙඩි දෙන්නා වූ සියල්ලෝම විජාතික බලවේග වලට යටවී ධනවාදයේ සුප් කටු ලෙවන්නෝයැ.

King

උතුරු සලුවෙන් මුවා වූ
රතු පැහැ රු දුරු නයන
නොපෙනෙන්ට වසාගෙන
ධවල මල් වට්ටියට

සිවු පසින් වැටීගති
දෑ මුඳුන් කර පෙළට
රජිඳු අනුකරණයෙන්
සිත් ගනු රිසින් දනට

දරනු බෑ අවු රැසක්
කොමල ඒ දෙනුවනට
බැඳී ඇති Ray Ban
දඬු වැටක් ඒ වටට

අප මහා රජාණන්
ලෝ පහල වී ඇත්තේ
අපේ පෙර පින් මහිමෙ
බෙලෙන් වෙන අන් කිමට

ලෙසින් නොම නවතමින්
ඕසෙටම ගුණ කියත
රජිඳු නැති ඒ වගක
සිටි පිළිමයක ලෙසට

Return top | ඉහත්තාවට නැවතත්