මිතුර මේ කව පුදන්නේ ඔබ නමට ය

wa

දිරාගිය රුකක අබලන් බස් රථ අසල
බත් අහුලන ඉඳුල් අතින් මුව පිහින
කණ ඇස පිස දමා ගලනා කඳුලු බිඳ
සිඟමන් යදින්නෙකි බස් රථ වල නිතර


අපුල මුව අයා කියනා කවි මිහිරී
අත වූ නලාවෙන් පුරවයි අඩු කෑලී
නැවතුම් දෙකක් පහුවුනු තැන කලබල වී
හනිකට බසින්නේ මොනවද මුමුණමිණී


එක් දිනයක මම යනකල කඩුවෙලට
මේ ගීවේදියා නැඟුණා බස් එකට
ගයමින මියුරු ගී මිල්ටන් ගේ සිහින
සනසන්නට වීය සැමදෙන එහි සිටින


නැවතුම් දෙකක් පසුවූ පමණයි පාලූ
පෙර නොමදැකි ලෙස ඌ කලබල වීලු
නවතන් අයියේ නවතන් කියමින් මහරූ
බෑඟිරි හඬින් මූ කෑ ගැසුවයි යාලූ


කියනට මට අමතක විය එක දෙයක
ඇසුවා මම දිනක් ඔහු හමුවී මඟ ක
ඇයි නුඹ බසින්නේ හැමදින එක තැනම
කියපන් මිතුර දනගන්නට මනාප ම


මහත්තයෝ නැවතුම ළඟ ඇත සොහොනක්
එය මගේ පුංචි දුවගේ පොඩි සිරියාවත්
ඈ මිය ගොසින් දැන් අවුරුදු තුන හතරක්
මට ඇති නොවේ හැමදින ගොස් ඈ බැලුවත්


ගී කියමින් ය බස් රථවල ඇය වැඩුවේ
ඈ පොඩි දුවක් නොම දස විය පිරවූයේ
ඈ මවු මරා උපන් දුවණිය වුව මාගේ
ඈ මගේය මා හද ඇයගේ මිතුරේ


මෙලෙස කියන කල මට තතු ඔහු බසින
පැහැදෙන්නට විය හේතුව එය කරන
ලොව ආදරය පමණයි ඇති එකම දෙය
ඒ උපදේසේ මට දුන්නේ හිඟණ පිය


දින කිහිපයක් ගත විය කිසි නොවූ ලෙසම
මා හිත හටත් අමතක මේ සිදුවීම
මා යලි දිනක් සෙයිලම වෙත යන විටෙක
දුටුවා පුරුදු මූණක් ඇත  බිත්තියක


අවමංගල්‍ය දැන්වීමකි මා දුටුවේ
හිත නැවතුනේ මන්දැයි මට නොතේරුනේ
හැම දිනයකම මිල්ටන් ගී කියන අනේ
ඒ ගීවේදියා යයි නොම එන ගමනේ


දුව සිය බිරිඳ යැවි දෙසටම ගිය මිතුරේ
ගෙව්වා උනත් උඹ මේ වක ඒ කරුමේ
පින් පමුණන්නේ බුදු හට පුදලා පද්මේ
යලි ඉපදෙන්න කියලයි නුඹ දෙව් තුසිතේ

 

පරණපාර කොළඹ අවිස්සාවේල්ල බස් රථ වල නැගී ගී ගඟුලෙන් අප සනහන මිතුර.., පියසේකර.., ඔබට අමා මහ නිවන් සුව ලැබේවා..!

13 ක් අදහස් දක්වලා.:

Anonymous

කෙනෙක් නසා තව කෙනෙතුන් මතු වන්නේ
එහෙම සමාජයකයි අපි ජීවත් වන්නේ
හදවත තෙමෙන ඔබ වැනි යස මිනිසුන්ගේ
සිත්මල නිසයි ලොව තාමත් පවතින්නේ

ගීත ගයා කෙරුවේ සොරකමක් නොවේ
බිරිදයි සියණියයි ඔහුගේ සිහින ලොවේ
හමුවහු ඈත ඔවුන් සසරේ පුරුදු ලෙසේ
පතනෙමි නිවන් සුව මතු නූපදිනා ලෙසේ

Naya

අම්මෝ..හරිම සංවේදි සිද්දියක්..ලියවිලා තියන විදියත් හරිම අපුරුයි.හිතට හුඟාක් දැනුණා...!!!!!

රවා

කෙනෙකුගෙ කදුලු දැක උණුවෙන හද කමල
කවියෙන් කරන ලද සුන්දර එ පුවත
වින්දෙමි ඔබෙ ඉසව්ව වෙත පැමිණ අද
පිලිගන් මගෙ ආසිරි පද හද නැගෙන..

ලිශ් අයියා.. මෙහෙම කෙනෙකුට ලං වෙන්න හැමොටම බැහැ.. හැමොම කරන්නෙත් නැහැ.. කෙනෙකුගෙ ජිවිතෙකට ලංවෙලා එක ගැන හොයන එකෙන් මම කරන්නෙ ඉගෙන ගන්න එක.. හරිම වටින දෙයක් ඔයා එ මනුස්සයගෙන් එ දෙවල් එලියට ගත්තු එක.. අපෙ පාරෙත් ඉන්නවා.. මෙ වගෙ මිනිස්සු.. එ මිනිස්සු තමුන්ගෙ හිතෙ කැකැරෙන දෙවල් එලියට දැම්මට පස්සෙ පුදුමාකාර සුවයකින් එතනින් පිට වෙන්නෙ...මම මගෙ ඇස් දෙකෙන් එක විඳලා තියනවා.. ස්තුති ඔයාට.මෙක එකතු කලාට

CD Athuraliya

නැඟුනා නෙතට වැළකිය නොම හැක කඳුලූ...

දුකා

ඉස්සර කාලේ මේ වගේ සිදුවීමක් වුනාම කවි කොල වල දුක් කවි ලියල රෝනියෝ කරලා ගම පුරා බෙදා හරිනවා කියලා අම්ම ල කියනවා අහලා තිබුනා . . .

මේක කියෙව්වම මතක් වුනේ ඒක . .. හරිම අගෙයි . . .

ලිෂ් . . .මේ අවුරුද්ද කවි අවුරුද්දක් වගේ . .

රචියා අරෙහෙ පට්ට කවියක් දාලා උඹ මෙහේ එකක දාල නියමයි බන්

Unknown

විඳිනා විටදි කිසිවෙකු දුක් දිවි කතරේ
දැක දැක ඉවත බලනා උන් වැඩි අතරේ
දුක සැප විමසලා සහනය දෙන නිතරේ
නුඹ වැනි එවුන් විරලයි දැනගන් මිතුරේ...

චේජනා

පිය සෙනෙහසට කවි ගී නොලියුනු රටක
පිය සෙනෙහසේ මහිමය සිත ළඟ පෑව..
සිඟන පියා දැක හදවත කකියෑව..
පතනෙමි ඔවුන් එක්වන්නට මතු දාක..

විශ්මි

ඇහැට කඳුලක් ගේන හිතට දැනුන සංවේදී පදපෙලක් සහෝ.......

සචී

කවියක් නිසා, සෙනෙහස ගැන අමුණාපූ
කඳුළක් පුදමි නෙතු අද්දරටම ආපූ

LishWish

@ වත් :
ස්තූතියි අක්කේ කොමෙට්ටුවක් ලෙස හිතට වදින කවියක් දමා ගියාට.., ඔව් මේ අපි හදිසියේ හෝ දකින ප්‍රමාණය විතරයි..! තව නොදකින පැති කොපමණ ඇතිද?

@ මුචා : ස්තූතියි මල්ලියා..!

@ නයා: ස්තූතියි සහෝ.., මම හිතන්නේ පළමු වරට නේ මේ පැත්තේ ඇවිත් යන්න ආවේ...?

@ රවා : ලස්ස්න කවියක් එක්කම මොනතර මස්සනට මේ පද වැල ඔබ විඳලා තියෙනවද කියලා මට කොමෙන්ටුව දැක්කම කිතාගන්න පුලුවනි මල්ලී..! ජයෙන් ජය..!

LishWish

@ CD Athuraliya :
ස්තූතියි සහෝ...!

@ දුකා :
මේ කවිපෙළ ලියාගෙන යනකොට මටත් හිතුනා දිගවැඩි වේවිද කියලත් පස්සේ මම අම්මට මේක පෙන්නුවම තමා කිව්වේ මේක හරියට කවි කොලයක් වගේ දාන්න කියලා..!
ඒක උඹ කොහොම හරි අල්ලාගත්තානේ..?
[ පිස්සු හැදෙනවා අයියේ උඹ ගැන නම් ]
මුචා ගේ කවි ගැන කියන්න දෙයක් නැති බව අපි ඔක්කොම දන්නවා නේ අයියේ..! ඌ දස්සයා ආයේ ඒකේ දෙකක් නැහැ. :)

@ නිශාචරයා : ස්තූතියි මිතුර..!!!

@ වේජනා : මේකත් මාර කවියක් නේ අප්පා...!

අද මගේ බ්ලොගේ ඔක්කොම අය කවි වලින් ම නොවැ කොමෙන්ටු දාලා තියෙන්නේ එල එල...!

LishWish

@ විශ්මි : ස්තූතියි සහෝදරී කොමෙන්ටුවට..!

@ සචී : ස්තූතියි අක්කේ..!!!

ස්තූතියි හැමදෙනාට ම.., ඒ වගේම ඔක්කෝට ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ඉතසිතින් ම පතනවා...!!!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්